දෙවොල්මඩු ශාන්තිකර්මය

හැදින්වීම

පහත රට නැටුම් සම්ප්‍රදාය හා බැදුනු අතීතයේ සිට පැවත එන්නා වූ දෙවොල් මඩු ශාන්ති කර්මය ජනී ජනයාගේ යහපත සහ සශ්‍රීකත්වය පතා දෙවියන් වෙනුවෙන් පවත්වන්නා වූ මඩු ශාන්ති කර්මයකි.

ලංකාවේ පළමු දෙවොල් මඩු ශාන්ති කර්මය රුවන්වැල්ල ප්‍රදේශයේදී ඉන්දියාවෙන් පැමිනි සේරමාන නම් රජ කෙනෙකු විසින් පවත්වන ලද බව ඉතිහාසයේ සදහන් වෙයි.

ඒ මෙසේය,
ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ සිට සේරමාන නම් රජුට සිටි ගෝනෙකුගේ කෑගැසීම නිසා රජුගේ නින්දට බාදා ඇතිවිය. දිගින් දිගටම ඇති වූ කෑගැසීම නිසා රජුගේ ගෝනා මැරීමට නියෝග කලේය. රාජ පුරුෂයින් ගෝනා මැරීමට පසුපස එලවද්දී උගේ පය පැටලී අසල තිබූ රජුගේ උයනෙහි පොකුණට වැටී මරණයට පත්විය. රජතුමා මෙම විපත තමාට කල බව දැනගත් ගෝනා රජු කෙරෙහි වෛරයෙන් මරණයට පත්වූවේය එම පොකුනෙහිම කුඩා මැඩියෙක්ව උපදමින්ය.

දිනක් උයනට ගිය රජු පොකුනෙහි පිපී තිබූ මානෙල් මලක් කඩා සුවද ආඝ්‍රහණය කරන විට මල යට සැගවී සිටි ගෙම්බා නහය දිගේ රජුගේ මොලයට රිංගා ගත්තේය. මෙයින් රෝගාතුර වූ රජුට නෙයෙක් ප්‍රතිකාර කලද සුව නොවීය. දිනක් රජතුමා රූමත් කතක් සිහිනෙන් දුටු අතර මේ පිළිබදව පුරෝහිත බමුණන්ට දැන්වීමෙන් ඔවුන් කියා සිටයේ සිහිනෙන් පෙනී සිටියේ පත්තිනි මෑනියන් බවත් ඇගේ ශාපයක් රජුට ඇති බවත්ය. ශාපය දුරලීමට බුද්ධාගම ස්ථාපිත රටකට ගොස් පිං පැමින විය යුතු බව ඔවුන් කියා සිටියේය.

මීට සුදුසුම රට ලංකාව යයි තීරණය කල සේරමාන රජු ඇතුළු පිරිස නැවිනැගී වත්තල් තොටින් දිවයිනට පැමිණ කැළණියට ගොස් බුදුන් වැද පත්තිනි දේවියට පිං දී නවගමුවේදී රජුගේ හිසේ ප්‍රමාණයට රන් අඹ ගෙඩියක් පූජා කරන ලදී. අනතුරුව රුවන්වැල්ලේ දී පළමු දෙවොල් මඩු යාගය කරන ලදී.

මීට තරමක වෙනස් කථා ප්‍රවෘතියක්ද කියැවෙන අතර යාග සාහිත්‍ය තුල මෙම අදහස නොමැත. එනම් සේරමාන රජු බිසව සමග නැවකින් යද්දී මලක් කඩා සුවද ආඝ්‍රහණය කල විට එහි තිබූ විෂ වායුවක් නිසා රෝගී වූ බවත් පසුව රජු වෙනුවෙන් දෙවොල් දෙවියන් නාමයට එම නැවේ කුඹ ගසක් සිටවූ බවත් ඉන්පසු යාගයක් කර රෝගය සුව වූ බව කියැවේ. දෙවොල් මඩු ශාන්ති කර්මයක දක්නට ඇති කාල පන්දම් ගස සහ බිසෝ කප එම සිදුවීම සිහි කරවන බවත් ඇතැමුන්ගේ අදහසයි. එදා පටන් දෙවොල් මඩු යාගය ඇතිවූ බව සමහරක් සාමුප්‍රදායික ශිල්ලීන්ගේ අදහසයි. එසේම දෙවොල් මඩුව ප්‍රධාන දේවාලයකට සම්බන්ධ කර එම දේවාල බිමෙහි කරන කල එය දෙවොල් මඩුව බවට ප්‍රචලිත විය.

මිනිසුන්ටත් ඔවුන්ගේ කර්මාන්ත වලට සහ ඔවුන් ජීවත් වන ස්ථානයන්ට හා ප්‍රදේශ වලටත් බලපාන්නා වූ අපල උපද්‍රව රෝග පීඩා ඇතුළු නොයෙකුත් කරදර වලදී මඩු ශාන්ති කර්මයක් පවත්වා දෙවියන්ගේ ආශිර්වාදය සහ පිහිට ලබා ගැනීමට අතීතයේ පටන් මේ දක්වා පැවත එන්නේය.

දෙවොල් මඩු, හැල්ලුම් මඩු, කිරි මඩු, පූජා මඩු, පහන් මඩු, දේවාල මඩු, තුන් දා ගී මඩු, හත් දා ගම් මඩු, ගරා මඩු, දනු මඩු ආදී වශයෙන් බොහෝ මඩු ශාන්තිකර්ම පවතින අතර පත්තිනි දෙවියන් මුල්කරගෙන මේ සියළු යාගයන් සිදු වේ. මේවා අතරින් දෙවොල් මඩු ශාන්තිකර්මය පහතරට ප්‍රචලිතව පවතින අතර සමහර ප්‍රදේශ වල සියල්ලන්ගේ ආධාර උපකාර ඇතිව දෙවොල් මඩු කරන අතර සමහරක් තම තනි වියදමෙන්ද කරන අවස්ථාද වෙයි.

පහතරට ප්‍රදේශයේ මෙම ශාන්ති කර්මය කරන කපු මහතුන් අදටත් ජීවත් වෙයි. යමෙකුට දෙවොල් මඩු ශාන්ති කර්මයක් කරවා ගැනීමට අවශ්‍ය නම් මඩු යාග සිදු කරන කපු පරම්පරාවේ මුල් කපු මහතා හමුවී අරාධනා කිරීම උදාරත්වයෙන් හෙබි සිරිතක් ලෙස හදුන්වයි. ඒ ඇරයුම පිළිගන්නා මුල් කපු මහතා පේරු හතක නොහොත් පරම්පරා හතක ඇදුරන් කැදවා මඩු ශාන්ති කර්මය පැවැත්වීමට ක්‍රියා කරන අතර දෙවොල් මඩු ශාන්ති කර්මය ක්‍රමානුකූලව සිදු කරනු ලබයි.

දෙවොල් මඩු ශාන්ති කර්මයක පෙල පාලිය මේ ආකාරයෙන් දිග හැරෙනු ඇත.

තොට ඹෙට යාම හෙවත් නානු මුරය

දින තුනක පටන් මස් මාංශ වලින් තොරව ඇදුරන් මඩු පේ කිරීමෙන් පසු දෙවොල් මඩුව පැවැත්වීම ඇරඹෙන්නේ නානුමුරය සදහා තෙටඹෙට යාමෙනි. පස්වරු තුනට පෙර කපු මහතා ඇතුළු මඩු යාග ඇදුරන් නා පිරිසිදු වීම සදහා ගංතොටක්, ඇලක්, දොලක්,(දියබස්නාවක්) වෙත යයි. හිස සේදීම නානු ගෑමෙන් සිදු කෙරෙයි. මෙහිදී ප්‍රධාන කපු මහතා ප්‍රධාන වශයෙන් පිරිසිදු විය යුතුය.

දිවුල්, නුග, කලාදුරු, නෙල්ලි, කොල වර්ග යුෂ, දෙහි, සදුන්, කපුරු, කහ මුසුකල ජලයෙන් නානු සාදා ගනු ලබයි. හිස් සෝදා නා පිරුවට ඇද යාගයට සූදානම් වීම ඇදුරු චාරිත්‍රයකි.

තොටඹේ සහ තොටඹේ යනුවෙන් දැක්වෙන මෙම වචන දෙකම අර්ථවත්ය. තොටඹේ දි කරන මෙහෙය හෝ තොටඹේදී වතුරට කරන පූජාව යයි යන දෙකෙන්ම අර්ථ ගත හැකිය. අඹ යනු ජල යන අර්ථය වේ. වටතිර ඇද හදුන් කිරි පැන් කලයක් තබා එයද තොටඹේ හැටියට සලකනු ලබයි.

මේ අයුරින්ද තොටඹේ විස්තර වෙයි,

ලක් හිමි නැසූ තරහට කල වාදනය
ගෙත්මකවා පඩිපුර ගිනිලු තෙදින
සිත් පහදවා ගපසට වැඩි අනුහසින
සත්පත්තිනි දෙවි තොටඹෙට වරම් දෙන

ඔරුමාල පිදේනිය දීම

ඔරුමාල පිදේනිය දෙවොල්මඩු ශාන්ති කර්මයේ සියලුම අදහස් මුදුන් පත් කරගැනීම සදහා ඔප්පු කෙරේ. පත්තිනි දේවියගේ උපත් හතෙන් ඔරුමාල පත්තිනි කථාව සිහිවීම පිණිස මෙම පිදේනිය නෑඹිලියක පිලියෙල කෙරෙයි.

හගල පේ කිරීම

පත්තිනි දේවියගේ චරිතය නිරූපනය කරන ප්‍රධාන කපු මහතාගේ ඇදුම් කට්ටලය “හගල” නමින් හැදින්වෙයි. එයට කහ දියර ඉස සුවද දුම් අල්ලා පඩුරු බැද යහන් දැක්ම නටා නියමිත වේලාවට ගැනීමට ඒ සදහා වෙන් වූ ස්ථානයක තබයි. එසේම මෙය දෙවොල් මඩුවේ දැක්වෙන එහි ඉතිහාසය පලකරන්නකි. ඒ පුරා කථනය ගැබ් වූ කව් ගායනා කර හගල වඩා ආතුර සෙත් කිරීම කරනු ලැබේ. අද මේ සදහා රියන් 12ක් පමණ දිග සුදු රෙද්දක් ගනු ලැබේ.

දිනිදු කල අගපත්
දිනා ආසිරි විකුම්
කාවෙරි පුරා මහත්
සේරමානන් නිරිදු වැජබෙත්
  නොමනා වන ලෙඩක්
එරජ සිරිපති හටගත්
පිතිනි දෙවි අගපත්
පෙනී සීනෙන් කිවුය මෙපවත්
     
දිලෙන මිණි බරණේ
සැදි සුරගණක් ගුවණේ
කද මුඛ්‍ය නොදැනේ
කිමද මහ රජ වෙහෙස විදිනේ
  පත්තිනි දෙවි තෙදින්
හලෙර පිරිපත නොසිතින්
කෙලි පුද දෙන ලෙසින්
කියා නිරිදුට ගියා අහසින්

තෙල් වැඩම වීම

දෙවොල් මඩු යාගයට අයත් සියළුම තෙල් නෙයිදුල්ව සිද එම තෙල් උඩු වියන් යටින් පාවඩ පිටින් ගෙනවුත් තැන්පත් කිරීමයි. මෙයට සමහර පලාත්වල විශේෂ නැනක් ලැබේ. එසේ තෙල් වැඩම වීමේදී මෙවැනි කව් ගායනා කරනු ලබයි.

දහම් සරණ ලොව් තුරු මුනි සරනේ
සමන් විභීෂණ දෙවියන් වරුනේ
මලෙන් උපන් පත්තිනි දෙවි සරනේ
කියම් මෙපුද දෙන සැම දෙවි වරුනේ
   
බාලා ගෙඩියක් නෙලනා තෙල් සිද
සාලා ඇති මල් පුදමින් නිවරද
වේලාසන ඇදුරෙක් පේ වී ඉද
මේ යාගය දැන ගත හොත් නිවැරද
   
තොස්ව යහන් සරසා ගති මෙතැනේ
අස්න සදුන් සුවදින් පුද දෙන්නේ
හස්ත නාථ දෙවිදුට වදිමින්නේ
විෂ්ණු දෙවියො තෙල්මල් පිං ගන්නේ

රාත්‍රී පහන් දැල්වීම

මඩු ශාන්ති කර්මයේදී දෙවියන් උදෙසා නොනිමෙන ආලෝකයක් ලබාදීම මෙමගින් අදහස් කරයි. මෙම පහන් දැල්වීම පත්තිනි හා දෙවොල් දෙවියන් ප්‍රධාන සියළුම දෙවියන් වෙනුවෙන් කරනු ලබයි. මෙහිදී ආතුරයින් හට ශාන්තියක් ලබා දෙස් කන්නලව් කරමින් පහන් දැල්වීම සිදු කරයි.

මල් යහන් දීම

මඩු ශාන්ති කර්මයට ප්‍රධාන දේවාආරාධනා කිරීම මෙහිදී සිදුවෙයි. මෙය කෝලම් මුර කිරීම ලෙසද හදුන්වනු ලබයි. මෙහිදී දෙවියන්ගේ ගුන හා බලපරාක්‍රමය ගායනා කරනු ලබයි. දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව පැතීමේ පෙල පාලි අංගයක් ලෙසද දැක්විය හැක. දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබීමට මල් පහන් සුවද දුම් යහන් මත තබනු ලැබේ. පැයක කාලයක් නැටුම් හා කවි ගායනා යහන් ඉදිරියේ සිදු කරනු ලබයි. බෙර වාදනයද අඛන්ඩව සිදුවේ. ශිල්පීන් දෙදෙනෙකු මාරුවෙන් මාරුවට හා එකවර කවිගායනා කිරීම හා නැටුම් ඉදිරිපත් කරයි.

එම කවි ගායනා මෙසේය,

සාර බර චන්ඩ මහ භද්‍රා කල්පයට
නෑර අටවිසි මුණි ගුණ ලැබ සතුට
නෑර මේ ආතුර වස් දොස් මුදන්නට
බාර දෙමි පහන් මුර දෙවියන්ට
   
උතුම් බඹ ලොව සතර විහරණ රැක නිවන් සිරි සැප පතා
ගුවන්තල වරල එර්දි බලයෙන් ඇවිද දිවනෙත් ලා ඉතා
අතින් ගෙන මල් වඩම් කුඩ කොඩි හංස වාහනයෙන් යතා
යහම්පති මහ බඹුනි අස්නට වැඩමවා සව් සිරි දෙතා
   
රැස්ව නොයෙකුත් සව් සතන් වෙත පිහිට කරුණා කරවතා
කොස්ව හීලය වරුන පාටින් ගරුඩ වාහනයෙන් යතා
තොස්ව කෙලි පුද බාරගන්නට වරම් ලැබ පූරුවෙ පතා
අස්නයට වැඩ විෂ්ණු දෙවියනි මෙපුද ලැබ කරුණා වෙතා

නර්තන අංග පිරීම (යහන් දැක්ම)

නර්තන අංග ඉදිරියට කරගෙන යාමට පූජා පද නැටීමෙන් දෙවියන් සතුටු කිරීම මෙහිදී සිදුවෙයි. අඩු කෝල් පදය, යහන් දැක්ම පදය, කහදිය කොතළය සහ අගුරු දුම්මල පද එම පූජා පද වේ. එම අවස්ථාවේදී යහන් තවදුරටත් සුවදවත් කර පිරිසිදු කිරීම සිදු කරයි.

මෙහිදී බෙර වාදන ශිල්පීන්ද නර්ථන ශිල්පීන්ද භූමිකාවට පවිසෙයි. බුලත් හෙප්පුවක් අතින් ගත් ප්‍රධාන කපු මහතා මුලින් පැමින සංවාදශීලීව වැඩය අරඹයි. පසුව බුලත් හෙප්පුව දී ප්‍රධාන බෙර කරුට වැද ආචාර කර ඉන්පසු සියළුම ශිල්පීන් එකිනෙකාට ආචාර කර ගනිති. නර්ථන ශිල්පීන් භූමිකාව තුල විවිධ ඉරියව් වලට ගමන්කරමින් නැටුම් ඉදිරිපත් කරන අතර නරඹන්නන්ගේ සිත් අද බැද තබා ගැනීමට පිනුම් දර්ශන කැරකිලි වැනි අංග තනි තනිව සහ සමූහ වශයෙන් ඉදිරිපත් කරයි.

කාල පන්දම්

මෙය සිදුකරන විට හැන්දෑ සමයමේ මැද කොටස විය හැකිය. රියන් 11 ක් පමණ උසැති පුවක් ගසක් පිරිසිදු කොටගෙන මුදුනේ පුවක්මලක්ද විශාල පන්දමක්ද ගසදා දල්වා බෙර සක්හඩ මැද ඔසවති. එය සතර වටේට ගොක්කොල වලින් කන්වැල (දම් වැල්) සාදා මෙය දෙවොල් දෙවියන්ගේ යහන ඉදිරිපිට සිටුවයි. මෙහිදී නියිමිත බෙර පද ඉරට්ටේ කිහිපයක් නටනු ලැබේ. මෙය එදා සිට තකරගම දෙවි නාමයට කරගෙන එන අතර සමහර ප්‍රදේශ වල දෙවොල් දේවතාවටද තවත් සමහර ප්‍රදේශවල දැඩිමුණ්ඩ දේවතාවන් වෙනුවෙන්ද සිදු කරනු ලබයි.

පුරා වෘත්‍ය වශයෙන් දෙවොල් දෙවියන්ගේ නැවේ කුඹ ගස මුදුනේ වටිනා මැණිකක් තිබුන බවද එහි බලයෙන් සියළුම දොස් දුරුවන බවද සැලකේ. දුටුගැමුණු රජුගේ ජයග්‍රහනය හේතු කොටගෙන කතරගම දෙවියන්ගේ දේව මන්දිරය එදා ආලෝකමත් කරදීම සිහිපත් කිරීමත් මෙම කාල පන්දම් පූජාවෙන් ඉටුවන බව තවත් මතයකි.

දැන් තෙද බල කද කුමරු 
වන් උවදුරු හැරපු දුරු
සිහාසන බලෙහි ගරු
වත් දොස ඉස් මුදුන හරු
   
උතුම් කන්ද කුමරිදු නේ
රුවන් දුන්නු අනුහසි නේ
සවන් දෙකද මුඛ තුලිනේ
මෙවන් දෝෂ දුර හරි නේ

පන්දම් නැටීම

මෙහිදී එක් නර්ථන ශිල්පියෙකු වේදිකාවට පැමින රගදක්වද්දී සෙසු පිරිස ගීතිකා ගායනා කරයි. බෙර පද වාදනය කිරීම සිදු වෙයි. පළමු තැනැත්තා සමුගනිද්දී තව තිදෙනෙක් පැමිනෙයි. එම තිදෙනා නික්මෙද්දී තවත් දෙදෙනෙකු පැමිනේ. කවි ගැයනය අඛන්ඩව සිදු කෙරෙන අතර පන්දම් යහන් මත දල්වා ශිල්පීන් සමූහය නැටුම් ඉදිරිපත්කරයි. මේ ක්‍රියාවලිය මගින් පන්දම් නැටීම සදහා අවසර ගනු ලබයි.

පසුව ප්‍රධාන ශිලපීන් ‍දෙදෙනා පන්දම් රැගෙන රංගනයේ යෙදෙයි. දුම්මල ගසා සංස්කෘතික පද ගයමින් සෙත් ශාන්තියක්ද පතයි. පන්දම් පාලියේ ගයනු ලබන කවි කිහිපයක් මෙසේ වෙයි.

කතරගම පවර පටුනට දෙවි වැඩලා
ඉතිරි වන ලෙසට ගිනි ජල් මවාලා
සතර වරන් දෙවියෝ දිවැසින් දැකලා
කතරගමින් දුන් පන්දම් මවාලා
   
හිමය කූට පර්වත මුදුනට වැඩලා
නිමක් නැති හිමය දෙවියෝ වැඩ සිටලා
එබදු බවට ඉදි කටු මුනෙ වැඩ සිටලා
ඒ අනු හසින් සතහට ගිනි ජල් දීලා
   
ඉෂ්ට කරපු ඉසිවර දෙවි අතින් මා
විෂ්ණු දෙවියො වැද සිරි හස්තයෙන් මා
පැමිණි සියළු සෙරසලු අනු හසින් මා
ඔඩ්ඩිසි අතින් ගත්තයි ගිනි පන්දමා
   
අපට පෙනෙයි උඩ ගිනි ජල් යනවා
ලොවට පෙනෙයි තෙද රැස් විහිදෙනවා
ලොවට පිහිට ඇති දෙවියෝ වඩිනවා
සතට මෙපන්දම් ආවඩ වනවා

හැන්දෑ සමයම් පිදේනි දීම (සුදු කුරුම්බර පිදේනිය)

සුදු කුරුම්බර යක්ෂයින්ට පිදේනි දීම මෙහිදී සිදු වෙයි. සුදුකුරුම්බර ලෙස මහසොහොන් යක්ෂයා හදුන්වයි. කැකුළු හාලේ බත් සහ හත් මාළුවක් මුට්ටියක සකස්කොට පාට තුනක රෙදි කඩකින් (රතු, කළු, කහ) මුට්ටිය වටා ඔතනු ලැබෙයි. පන්දම් නැටුම ආරම්භයේදී ආතුරයාගේ හිස මත පිදේනිය තබා පන්දම් නැටීම අවසානයේදී පිදේනි දීමට යොදා ගනී. මෙහිදී මෙවන් කවි ගායනා කරනු ලබයි.

බීත නාද සත් සුරය ලබාගෙන
වාත ගිගුම් දී කොක් හඩලාගෙන
අභූතයන් සොල්මන් කරවාගෙන
භූත දෙවොල් සමයං එන ලස්සන

බිසෝකප සිටුවීම

දෙවොල් මඩු පුරාවෘතයේ එන පරිදි එදා චෝර රට සේරමනා රජුට හට ගත් හිසේ රෝගය සුවකිරීමට ලක්දිවට පැමින ප්‍රථම මඩු පූජාව පැවැත්වීය. එහිදී එම රජුගේ බිසව විසින් පත්තිනි දෙවියන් ට පූජාව පිනිස කපක් සිටුවන ලදී. මෙය මුල්වරට රුවන්වැල්ලේ සිදු විය. වියත් හතරකුත් අගල් හතරක් පමණ දිගට කෙසෙල් කොටයක් ගෙන මුදුනට පොල්මලක් පුවක් මලක් ගැටගසා කැටයම් කල ගොක්කොළ වලින් සරසා කහදිය සුවද දුම් දී මඩුව ඉදිරිපිට සකසන ලද ආසනයක් මත තබනු ලබයි. ඉන් පසු ශිල්පීන් බෙරවාදනයෙන් නර්ථනයෙන් හා කවිගායනයෙන් එයට ආචාර දක්වයි. පසුව එක් ශිල්පියෙකු සංවාද ශීලීව දෙවොල් මඩුවේ පුරා වෘතය කියා නර්ථන කටයුතු කර බිසෝකපට ආචාරකොට එය අතට ගෙන සභාවට එන ලදී. එහිදී සභවේ අය එයට පඩුරු එකතු කරමින් ආචාර කරයි. පසුව නැවතත් බිසෝකප ආසනය මත තබා නොනවත්වා නැටුම් සහ බෙර වාදනය සිදු කරයි. මේ අතර එක් ශිල්පියෙකු බිසෝකප දෑතින් ගෙන ප්‍රධාන යහනටත් අවශේෂ යහන්වලටත් නර්ථනයන් සමග පේ කරවා අවසානයේ ප්‍රධාන යහන අභියස (දේව යහන) ඇති වලක බිසෝකප සිටුවයි.

අතීතයේ බිසෝකපට සදුන් කදක් යොදාගෙන ඇති අතර අද එයට කෙසෙල් කදක් යොදා ගනී. එහිදී සිදු කරන කවි ගායනා මෙසේය,

සොලී පුරෙහි මල රට
සේරමානම් රජුගෙ සිරසට
රෝගයක් වන් විට
එරජ සෙත් සහ ඇවිත් මෙලකට
   
දෙවිදු හට බැතිනී
පුද පඩුරු දෙන ලෙසිනී
රග මඩුව සදමිනී
බිසෝකප සිටවුවේ මෙලෙසිනී

තොරන් යාගය

දෙවොල් මඩුවේ රග මඩල සරසන ප්‍රධාන මලසුන තොරණ වේ. මේ පත්තිනි දෙවියන්ගේ පූජාසනය වේ, මෙය මකර තොරණ ලෙස නම් කරති. මේ තොරණට සිංහල චිත්‍ර මූර්ති කලාවේ දැක්වෙන මකර රූපාවලිය කරන නිසා එසේ නම් කර ඇත. රඹ පතුරු ගොක් කොල කැටයමින් සරසන මෙහි උස හත්රියනක් විය යුතු බැව් නියම කෙරේ. කොත් පහකින් යුත් මෙහි මාලා කර්ම ලතා කර්ම ආදියෙන් විසිතුරුය. හංස, ගිරා, පරෙවි, කේසර, වටුවන් ආදී රූප ඇද ඇත. කඩු පලස් අත ඇති රජ රූප දෙකක්ද සිතුවමි කර ඇත. රජ රූප දෙක සෙන්තවාත් සහ ගජබාරජ වරුන්ගේ විය හැක.

ප්‍රථම කොට ඇදුරන් රගමඩලට විත් කඩතුරාවකින් වසා ඇති තොරණ අභියස සිට තොරණ විස්තර කරන ශ්ලෝක ගායනා කරනු ලැබේ.

ගජේන්ද්‍ර වන්දං - කෘක පාද සිංහම්
වරාහ කර්ණට - හෘද මත්ස්‍ය දේහම්
හරාල දස්තට - භද්‍ර මන්ත්‍ර නේත්‍රම්
විචිත්‍ර පත්‍රම් - මකර ස්වරූපම්

පසුව කඩතිරය විවෘත කරයි. පළමුව නර්ථන ශිල්පීන් ඒ සදහා තම නැටුම් ඉදිරිපත් කර ආචාර කරයි. පසුව යහන විවෘත කර එම තිරය රැගෙන ගීතිකා කියමින් නර්ථන කරයි. ඒ සමග කවි ගායනයේ ආතුරයින්ට සෙත් පැතීම සිදුකරයි.

තොරණ දුටු දෙරනේ ඈත් පෙර දවසකී
භරණ ගැලවූ විලසේ රෝග් දුර හල පුවතකී
ආතුර හට මෙසේ තොත් කර ගීයකි
රකින් තිස්වා දහස් සැමිනේ මේත් පත්තිනි සෙත් කිරීමකි

තොරන් යාගයට අයත් වන කවි කිහිපයක් මෙසේද වෙයි.

පොරණ කුලයට නැමැති රජ කුලයට පොරණ
දෙරණ කුල නැමැති සක් බඹ සුර නරණා
කරණ ලෙසින් සත හට පැවැතිය පොරණ
කරනු රජ කුලට රන් තොරන මකරින
   
ගත් උස සත් වියත් සාගල් සිව් අගුලා
මෙත් වට ප්‍රථල සවියක් අගුල තුග ගුලා
මෙත් දත බදින රඹ පත තොරන නිම කලා
යුත්තෙද පත්තිනියන් හට තොරණු මුල් කලා
   
තොරණ වටට මල්ලව රජ දරුවන් කඩු ගන්නේ
දරණ නාග ඇත් අස් වග වලස් සිංහයින්නේ
මොණර වදුරු වටුවන් සිතුවම් කර අදිමින්නේ
තොරණ දැකපු බලයෙන් අද සියළු දෝශ ගන්නේ
   
මකර රුව තනා තොරනේ මුදුනතට
එකර කඩු පලස් රජ දරුවන් අතට
සතර වටට මල් පෙති සරසා සොදට
මකර තොරන දැක දොස බැස ගියෙ තෙපිට

පත්තිනි නැටීම හා දේවාභරණ වැඩම වීම

දේවාභරණ නොහොත් හලඹ හෙප්පුවක බහා තොරණට වඩම්වන්නේ ප්‍රධාන කපු මහතා විසිනි. පසුව කහ දියරෙන් සෝදා දුම් අල්ලා පිරුවටයකින් ඔතා රග මඩලේ ඉදි කර ඇති පූජාසනයක තැන්පත් කරයි. කපු මහතා රතු වන් හැට්ටයකින් සහ තනි වර්ණ සාරියක් ඇද මාල, වලලු, තෝඩු පැලද ස්ත්‍රී වේශයෙන් සැරසෙති. පත්තිනි නටන කපු මහතා අතින්ද නානු මුර කරන ලද හලඹ වඩම්මවනු ලබයි. වර්ථමානයේදී පත්තිනි හාමි විසින් හලඹ නානු මුර කිරීමද සිදු කරයි. හලඹ වැඩම වීමෙන් පසු පත්ත්නි නැටීම සිදු කරයි. මෙහිදී කවි ගායනය සහ බෙර වාදනය සිදු කරයි. මෙහිදී අතුරා ඇති පාවඩ මත පමනක් නැටීම පත්තිනි නටන කපුමහතා වගබලා ගනී.

හලඹ පාවාදීම

මඩු භූමියට වැඩම්මවන ලද හලඹ කපු මහතා විසින් යහන් මත් තැන්පත් කිරීම හලඹ පාවා දීමයි. මෙහිදී පත්තිනි ආභරණ රැගත් කපු මහතා ඉදිරියෙන් සිටිද්දී අනෙක් කපුමහතුන් කව් සන්න ගායනා කරමින් සක් පිඹිමින් වැඩම්මවන ලද හලඹ පත්තිනි හාමි නොහොත් පත්තිනි නටන කපු මහතා විසින් යහ් මතට වඩම්මවනු ලබයි. පත්තිනි නැටීම අතරතුර සිදු කරන මෙම ක්‍රියාවෙන් පසු අනෙක් යහන් වලටද හලඹ වඩම්මවන අතර පත්ත්නි නැටීමේ අවසානයේදී පත්තිනි යහනේ ඇති හලඹ රැගෙන ආතුරයින්ට සෙත් පැතීම සිදුකරයි. මෙහිදී ගායනා කරන කවි කිහිපයක් මෙසේය.

ඉස සෝදා සුදු වැලි ඇතිරිලි ලන්නේ
බෝ හෝසේ වියන් වට තිර අල්ලන්නේ
ගසති දවුල් බෙර වැත්ති තොසින්නේ
හිසපිට තබමින් හළඹ ගෙනෙන්නේ
   
අදමෙරලා මඩුවට
මිණි සළඹ වැඩමවන්නට
මිහිකත් අතින් තුට
ගනිමි අවසර වැඩමවන්නට
   
අල්ලා දඩු වියන්
දෙපස චාමර සලමින්
සුවද දුම් දෙවමින්
වියනට වැඩ පත්තිනි සාමින්
   
දොලහ දෙවි සමගින්
මෙරග නෙත් ලා බලමින්
දොලහ සළු සලමින්
වඩිමින් මඩුවට දොලහ දෙවියන්
   
විස්සර උඩු වියනක් අල්ලා සිට
කස්තුරි කපුරු දුන් දී හිණි කොට
විස්තර කර සක් පිඹිමින් මන තුට
පත්තිනි සදුනේ වඩිනේ මඩුවට

මගුල් බෙර වාදනය

තෙල්මේ නැටීමට ප්‍රථමයෙන් මගුල් බෙර වාදනයට බෙරවාදක ශිල්පීන් එයට නියමිත ඇදුමෙන් සැරසෙයි. මෙහිදී යාග ශාන්තිය හා සම්බන්ද සියළු බෙරකරුවන් විසින් තම බෙර වාදනය කරමින් දෙවියන් ප්‍රධාන තෙරුවන්ගෙන් ද සභාවෙන්ද අවසර ගනු ලැබේ. ගායනය, නර්ථනය, යන අංග තුනම ඔවුන් විසින්ම කරනු ලැබේ.

ඉ‍නෙහි බෙර බැද කාලාන්විතව කරනු ලබන මේ රංගනය නරඹන්නන්ට මහත් ආස්වාදයක් ලබාදෙයි. දස මරුන් පරදා එදා බෝ මුලේදී සිදුහත් තවුසන් බුද්ධත්වය ලැබූ වෙලේ බුධ මගුල යනුවෙන් සක්‍ර දෙව් පුත් කල බෙර වාදනය මේ අවස්ථාවේදී සිහිපත් කෙරේ. මේ යාගාංගය වෙනුවෙන් අඩුම වශයෙන් පැය එකහමාරක දෙකක කාලයක් ගතවේ. හලඹ පාවාදීමෙන් පසු දෙවියන්ට කරන තේවාවක් ලෙසද බෙර වාදනය කිරීම සලකයි.

ගන්දබ්බානං දේවානං  
සබ්බේදේවා සමග්ගියා  
කත්වාන පංච තුරියේන  
සන්තුට්ටේ පීති මනාසො  
   
සුගන්දම් මුණිදුට  
නමකල පද තුනක් ඇත  
මුදුනක් තබා හිස  
ගසම් පළමුව වදින තුන් අත  
   
තක්ක තරිගු තරිග තකට තක දිකු තක තරිගු තා
තිට දිමිකට තකුද තකයි ජිජිම් ජිජිම් ග්‍රච්ඩ තා
කිදරි කිදරි ක්‍රත ගත ගත තිතෙයි තිතෙයි ජෙංගඩ තා
ඉන්ද්‍ර දිගට නිමවු අමර බගට ‍ෙ.ාහට වටදි තා

තෙල්මේ නැටීම

ශාස්ත්‍රීය නැටුම් අංගනයක් ඇතුලත් විසිතුරු නර්ථන අංගයකි. නොයිදුල්ව සිදගත් තෙල් වලින් දොලහ දෙවියන්ට පහන්දල්වා මෙම යාගය සිදුකෙරෙති. “තෙල්මේ තටුව” නමින් යුතු පුද අසුන රගමඩලට ගෙනවිත් රංග භූමිය මැද තබන ලද පුටුවක් මත තබයි. එහි විලක්කු, බුලත්, පඩුරු, ආදිය දොලහ බැගින් තැන්පත් කර ඇත. පසුව විලක්කු පත්තු කර තටුව මත සිටුවා තෙල්මේ නැටීම ආරම්භකරයි. ප්‍රථම මඩුමංගලයේදී චෝල රජ කුමරුන් දොලොස්දෙනෙක් මෙම තෙල්මේ නැටුමට සහභාගි වූ බව පුරාවෘතවල සදහන්වෙයි. පබළු වලින් සරසන ලද ඉතා අලංකාර ඇදුම්වලින් සැරසී නර්ථන කටයුතු සිදු කරයි. තෙල්මේ යා‍ගයේදී ශ්‍රීයා කාන්තාවට ආරාධනා කරනු ලැබේ. ඒකල නර්ථනයන් ආරම්භකොට පසුව සමූහ වශයෙන් ඉදිරිපත්කරයි. ශිල්පීන් පිනුම් ගැසීමද නර්තන අංගයට එක්කරමින් නරඹන්නන්ට විනෝදාස්වාදය ගෙනදෙයි.

සේරන් නිරිදුට  
සිරසේ රෝග වන්විට  
සැදු රග මඩුවට  
පුද තෙල්මේ තමුව මෙලෙසට  
   
සදුන් තෙල් කිරි මල්  
සැදු නානා මෙහැම දේවල්  
යහන පිට මන කල්  
දොලහ දෙවිදුට පුදා මෙසියල්  
   
රැගුම්කර ඇල්මේ  
දෙවිදුට පුදන තෙල්මේ  
දොලහ දෙවි මුල්මේ  
පටන්ගනිමුය මෙපුද තෙල්මේ  
   
වියන් බැදපු මඩුවේ රන් පුටුව තනා
උඩින් සුදු වතක් පේ කරවා සොදිනා
නිසි ලෙස මල් බුලත් දොළසක් පුද කරනා
මෙම ලෙස සිටියා දේවිය හට පුදනා

මද්දිම සමයට පිදේනිය දීම (සන්නි කුරුම්බර)

මෙහිදී ප්‍රධාන කපු මහතා අතින් සන්නි යක්ෂයාට පිදේනි දීම සිදු කරයි. බත් සහ හත් මාළුව මෙහිදී පිදේනිය ලෙස සකසා ගනු ගබයි. හත්මාළුව සකසා ගනු ලබන්නේ කජු, කොස් ඇට, මෑ කරල්, වම්බටු, වට්ටක්කා දළු, මාළු කෙසෙල්, කජු දළු වලින් වෙයි. මෙයට ලුණු, මිරිස්, තුනපහ පාවිච්චි නොකරයි.

මුරු තැන් පිදීම

දෙවියන් උදෙසා ආහාර පූජාව පිදීම මෙහිදී සිදු වෙයි. ඉතා පිරිසිදුව පිසින ආහාර ආග්‍රහනයෙන්තොරව වටතිර ඇද උඩු වියන් යටින් ගෙනැවිත් දෙවියන්ට පුදනු ලබයි. පැනි කිරිබත් හෝ බත හත්මාළුව සමග කෙසෙල් සහ කැවුම් පත් කොළයක් එලා එයට පුදනු ලබයි.

වාහල නැටුම

දෙවොල් මඩුවේ පත්තිනි දෙවියන් හා පුද ලබන දැඩි මුණ්ඩ වාහල බන්ඩාර දෙවියන් පිණිස වූ නර්ථනයක් වෙයි. දෙව්යන්ගේ දිෂ්ඨිය ආවේෂ කරගෙන කපු ඇදුරෙකු වාහල නටයි. ඉතා වේගවත් සහ විශ්මය ජනක නර්ථනයක් වන මෙය වාහල ඇදුමෙන් සහ වාහල තොප්පියෙන් කපු ඇදුරා සැරසී නටන නර්තනයකි. තොප්පියෙන් දෑස් අඩක් ආවරණය වී ඇති අතර එය දැඩිමුණ්ඩ දෙවියන්ගේ කිරුළ ලෙස විශ්වාස කරයි. වාහල ඇදුම රතු සහ සුදු සේලයකින් සහ හැට්ටයකින් සමන්විත වන අතර කකුල් දෙකට ගිගිරි බැද ගනී. පසුව දැඩිමුණ්ඩ දෙවියන්ගේ යහන අසල පුටුවක ඉදගෙන වාහල බණ්ඩාර දෙවියන්ගේ කවි සහ වාහල බන්ඩාර දෙවියන්ගේ උපත ගායනා කරයි. පසුව වේගවත් බෙර වාදනයක් කරන අතර වාහල නටන කපු ඇදුරාගේ මුළු ශරීරයටම දුම් අල්ලනු ලැබේ. දුම්මල වරං බල වතුරෙන් ජලකල එය අවසනට මුහුණට අල්ලයි. ඒ සමගම ආවේශවී මාලක්කන් රැල්ලක පනිමින් තොරණ අභියසට යයි. පසුව තෙරණ සහ සියළු මල් යහන් වලට වදිමින් නැටුම් දක්වයි. මෙහිදී තහ දිය කොතලය, අගුරු දුම්මල කබල, කලහ, පොල්මල, ඝෝඨලීය, හක් ගෙඩිය, පන්දම, යන හත් පදයන් නැටීම සිදුවේ. නැටුමේදී මේ සියලු ද්‍රව්‍ය ක්‍රමාණු කූලව අතට ගෙන ඒවා දෑතේ රදවාගෙන නර්ථනයේ නිරතවෙයි.

මෙය නරඹන්නන්ට විශ්මය හා බිය ගෙන නැටුමක් වන අතර අවසානයේ රගමඩල කරා විත් කාල පන්දම් ගසට දුම්මල ගැසීමේදී අන් ඇදුරන් විසින් ඔහු අල්ලාගෙන කලින් මතුරා තිබූ කහ දිය ඉස පන්දම් ඉවත් කර වාහල තොප්පිය ගලවා සිහි ගන්වනු ලැබේ. මෙම නැටුමෙන් දෙවියන්ගේ බලය නිරූපනය කර යක්ෂයින් සහ භූතයින් පලවා හැරීම අදහස් කරයි.

දස බිම්බර යුධට
මාරසෙන් රැස්වූ විට
දෙවියන් දැක නොසිට
දුවයි සක්වල ගලෙන් පිටතට

බුදුන් තනි කරලා
දෙවියෝ ගියහ හැරලා
දැඩිව එහි සිටලා
යුධ කරවි සැලකලේ වැදලා

දැකලා දෙවියන් යකු වෙව්ලන්නේ
වැදලා සුරිදුට බැහැ දකිමින්නේ
රැකලා පියවර වේ වැල ගන්නේ
විදලා තල අද දමමු කියන්නේ

අඹ විදමන

මේ සියලු කර්මයන්ගෙන් පසු නිවර්දි ප්‍රේක්ෂකය තවදුරටත් ශාන්ති කර්මය කෙරෙහි ඇදබැද තබා ගැනීමට පත්තිනි දෙවියන්ගේ චරිත කථාව නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීම අඹ විදමන ලෙස හදුන්වයි.

පත්තිනි උපත් අතර අඹෙන් උපන් පත්තිනි අඹ පත්තිනි නොහොත් ඔරුමාල පත්තිනි උපත වඩා ප්‍රකට වූවකි. පඩිපුර පඩි රජුගේ අඹ උයනෙහි එක ගසක අකලට මා දිය කලයක් තරම් විශාලව අඹ ගෙඩියක් හටගෙන ඇත. මෙම අඹය නෙලාගැනීමට කිසිවෙක් සමත් නොවූ අතර අඹය නෙලීමට හැකි අයෙක් ඉදිරිපත් වන ලෙස දැන්වීය. දිනක් එක් මහල්ලෙක් පැමිණ තමා එය නෙලන්නේයැයි පැවසූ විට රජුගේ දුන්න ගන්න යැයි කී කල එය ප්‍රතික්ෂේපකර තමාගේම දුන්නෙන් අඹයට විද්දේය. ඊතලය අඹ නැට්ටේ වැදී අඹ ගෙඩිය ගිලිහෙත්ම අඹ නැට්ටෙන් වැටුනු අඹ කිරි බිංදුවක් උඩ බැලූ රජුගේ නලලත ඇසට වැටී එම ඇස නොපෙනී ගියේය. මෙම ඇස නැතිවීම මහත් විශ්මය ජනක සිද්ධියක් නිසා පඩි රජු එය කෑමට නොගෙන රන් ඔරුවක බහා කාවේරි ග‍ගේ පාකර හැරියාය. අඹයට විදි මහල්ලා නොපෙනී ගිය අතර ඒ මහළු වෙසින් පැමිණ ඇත්තේ සක් දෙවිදුන්ය. මෙසේ පාකර හැරි අඹය සහිත බෝට්ටුව “මානායර” නම් වෙදෙකුට හමු වී එහි තිබූ රන් අඹය නිවසට ගෙන ගොස් රන් බදුනක බහා තැබීය. දින ගනනක් ගතවීමෙන් පසු වෙලෙන්දාගේ ගෙදරට පැමිනි දරුවෙකු අඹය ඉල්ලූවිට සුරැකිව තැබූ අඹය මතක් වී එතැනට ගොස් බැලූ විට ඔහුට පෙනුනේ ඉතා රූමත් බිළිදු කුමරියකි. අඹය ඉල්ලා එහි පැමිනියේද සක් දෙවිදුය. ඔරුවේ පාවී ආ අඹයෙන් උපන් පත්තිනි දේවී අඹ පත්තිනි ඔරුමාල පත්තිනි නමින් හදුන්වයි.

එම පුවත අඹ විදමනෙහි කිවියෙන් ගායනා කරයි. පසුව ආතුර කැලට පත්තිනි දේවියන්ගේ ආශිර්වාදය ලබා දෙයි. ගරා වෙස් පෑම හැර වෙස්මුහුණු පැලද දෙවොල් මඩුවක නටන එකම නැටුම අඹ විදමන පමනකි.

අඹ විදමනෙහි ගයන කවි මෙසේය,

අරින සැරන් පොලු ගල්කැට වෙඩි සැර ආමුන පෙරලා
කරන සටන් බැරිව සෙනග සිට ආයුධ අත හැරලා
විදින වෙහෙස දැක දිවසින් සක් රජ කරුණා කරලා
රැගෙන දුන්න සහ ඔලොගුව මහළු වෙසක් ගෙන දරලා
   
පුරුක් නවය සන්දි නිසා දුන්න අදියි වර නමන්ට
වරක විදල ඊය මෙසේ කිව් නිරිදුට උඩ බලන්ට
කලක් ලවතිනා අණ සක ගුවනේ කැරකී තිබෙන්ට
උලක් ඇන්න සේ අඹ කිරි වැටුනේ පඩි නෙත වැසෙන්ට
   
ජලෙනි දලෙනි සුරත් දමෙනි අඹෙහි උපන්නා
ගලෙහි කැලෙහි සඨවෙනි එක් වරක උපන්නා
එවැනි සමෙහි සත්වෙනි රන් අඹෙහි උපන්නා
මෙවැනි පතිනි කෙදිනි මෙලක් දිව බබලන්නා
   
නුරා සළඹ නද ගොපකර වැඩම කරනවා
නුරා ලමැද පියවොරු රන් දමෙන් වැසෙනවා
ගිරා තුඩුසෙ ගෝමර බදවට දිලිසෙනවා
සරා ලාපු මල් අස්නට වැඩමකරනවා

මිල්ල කැපීම

රග මඩුවෙන් පිටස්තර පිහිටි මිල්ල ගසක් සොයා එම ගස වටා ගොක් රෑන් ඇද එහි සිටි රුක් දෙවියාට වෙනත් ගසකට යන්න ආරාධනා කර ගසට හදුන් කිරි පැන් සුවද ඉස පසුව යාග ඇදුරන් කැති පොරෝ ගෙන බෙර සක්තුරු ඇතිව උඩු වියන් ඇතිව පෙරහරින් රංග භූමියට පැමින දෙවොල් දෙවියන්ගේ මල් අස්නේ තැන්පත් කරනු ලැබේ. මිල්ල කැපීමට යාම මේ අයුරින් විදහා දැක්විය හැකිය.

කැලේ ගොසින් අමු මිල්ල කපන් නේ
කැලේ වටට උඩු වියන් බදින් නේ
රැලේ පුළුන් ලෙස දුම විහිදෙන් නේ
මලේ මහිම බල දෙවොල් යකුන් නේ


මෙම මිල්ල කැපීමේ චාරිත්‍රය ගිනි පෑගීම සදහා කරන අතර දෙවොල් සත් කට්ටුව මෙලකට වැඩමවීම වැලැක්වීමට මැවූ ගිනි මැල හත සිහි ගැන්වීම උදෙසා කරනු ලබයි. ස්වර්ණ කුදුප්පර දේශයේ සිට දෙවොල් සත් කට්ටුව නැව් නැගී එන විට තද කුණාටුවකින් නැව විනාශ වීමෙන් මුහුදුමනි මේඛලාව මවා දුන් ගල් පහුරක නැගී මෙලකට ගොඩබැසීමට ආවේය. එහිදී යාපනය, පුත්තලම, මීගමුව, මොරටුව, පානදුර, වැලිගම, උණවටුන යන පලාත් වලින් ගොඩ බැසීමට උත්සාහ කලත් එම පලාත්වල දෙවිවරු ඉඩ දී නොමැති අතර සීනි ගමට ගොඩබසින්නේමයැයි සිතා ආ විට පත්තිනි දේවිය දෙවොල් දේවියන්ගේ බලය බලම් නැයි ගමනට බාදා කරමින් වටේට වූ මිල්ල කැලයට ගිනි තැබීය. එදා කතරගම දෙවියන්ගේ අණසක සිහිපත් කරගෙන ගින්න තරණය කරගෙන ආ දෙවොල් දෙවියන් ගිනි නිවූ බව සිහිපත් කරමින් අද ගිනි පෑගීම සිදු කරයි. ඒ සදහා මිල්ල කපා ගෙනවුත් වෙනත් දර සමග දමා ගිනි අවුලවා පාගනු ලබයි.

ගිනි කුරුම්බර පිදේනිය

කුරුම්බර නම් දේවතාවා හට පිදේනි දීම මෙහිදී සිදුකෙරෙයි. කෙසෙල් කොළයක් තබා සකසන ලද ගොටුවකට බත හත්මාළුව තබා දෙවොල් යහන පිටුපස සිටවූ රුක් අත්තන අත්තක කරුවේ තැන්පත්කරනු ලැබේ.

දෙවොල් නැටීම

දෙවොල් දෙවියන් ලක්දිවට ගොඩබැසීම තේමාව කරගෙන පවත්වන දෙවොල් නැටීම තවත් යාගාංගයකි. අලංකාර පහත රට නැටුම් අංගයක් වන මෙහි විශේෂ නැටුම් පද පන්තියක්ද ඇත. දෙවොල් පද හතකින් එය යුක්තය. එසේම එයට සකස් වූ වෙනම ඇදුම් කට්ටලයකි. ඉහට සේලයක්ද උඩු කයට විචිත්‍ර හැටිටයක්ද දෑත දෙපය වලලු, පාමිණි, පාදගම්, ගෙජ්ජි ආදියෙන් සැරසෙයි. හිසේද විශේෂ කිරුලකි. මෙයින් දෙවොල් හත්කට්ටුවේ විලාශය දක්වයි.

පත්තිනි හා දෙවොල් දෙවියන්ගේ අතීත තොරතුරු මෙහිදී ඉදිරිපත් කරයි. දෙවොල් නැටුමේදී එක් එක් නළුවා දේව නමස්කාරය කොට තනි තනිව නටා පසුව සමූහ වශයෙන් නටා නැටුම ටිකකට නවතා සංවාදයකට මුල පුරයි. දෙවොල් සත්කට්ටුවේ සීනි ගමින් ලංකාවට ගොඩ බැසීමේ සිද්ධිය නළුවන් ගෙනහැරපායී. නළුවන් ඉදිරියේ රෙදි කඩක් අල්ලා ඔවුන්ට යන්නට නොදෙයි. ඉන් පසු ගුරුන්නාන්සේ සහ නළුවන් අතර දෙබසකි. නළුවන් කථා කරන වචන එහෙන් මෙහෙන් කැඩුණු සිංහලය. වචන ඒ මේ අත පෙරලමින් කරන සංවාදය නරඹන්නන්ට විනොදාස්වාදය ගෙන දෙයි. කඩවත තරනය කිරීමට මුරකරුවන්ගෙන් නොයෙක් ලෙස අයදී. පසුව පත්තිනි ආදී දෙවිවරුන්ගේ නම අණ මුදුන්පත්කරගත්විට යෑමට ඉඩ දෙයි. අවසානයේ කඩවතින් ඉදිරියට ගොස් මිල්ල කපාගෙන ආ දැව වලින් ගැසූ මැලය සිසිල් කර පාගා ආතුර සෙත් පතා දෙවොල් නැටීම හමාරකරති.

එහි එන කවි කිහිපයක් මෙසේ වෙයි.

දෙවි සත් දෙනාගේ
උපතක් කියමි යාගේ
දුක් නිවන යාගේ
කියමි මේ කවි දෙවොල් බාගේ

අදිමින් රන් නිලා
බදිමින් සිරස නා ගුලා
ගෙන මුගුරු මන කලා
දෙවිදු වඩිනේ විමන් දැකලා

තොස් කර යහනේ පුද සරසනවා
සත් තිර තෙදබල ලොවට පෙනෙනවා
විස්තර තෙදබල ලොව පවතිනවා
දොස් හැර නාගුල සිරසෙ බදිනවා

මරා ඉපැද්ද වීම

දෙවොල් මඩුවේ රග දක්වන පත්තිනි කථා පුවතේ එන පාළන කුමරු නමින් හැදින් වෙන කෝවාලණ් මරා දැමීමෙන් පසු පත්තිනි හෙවත් කණ්ණගී මේ ශෝචනීය සිද්ධියෙන් කම්පිත වී මහත්සේ විලාප නගා අවසානයේ සත්‍ය ක්‍රියා කොට ඒ මත සුවාමියා උපදවාගත් අයුරු මරා ඉපැද්දවීමෙන් නිරූපනය වෙයි.

මෙම සිද්ධිය රගපෑමට චරිත කිහිපයක් යොදා ගනී. පත්තිනි දේවිය, පාලන කුමරු, කාලි කෙල්ල, ශොපල්ලන් කුමාරවරු දෙදෙනා තොටියා වාදකයා යන චරිත මෙයට සම්බන්ද වෙයි.

කපු මහතා පත්තිනි දේවිය මෙන් සැරසෙයි. තෝවලණ් පාලන කුමරු ලෙස තවත් ශිල්පියෙක්ද තවත් ශිල්පියෙක් කාලි කෙල්ල ලෙසින්ද රග මඩලේ කෙලවරක ෙගාපල්ලන් ලෙස හැදගත් දෙදෙනෙක් සමග වෙස්මුහුනක් පැලද වදමල් දමක් කරේ පැලදි වදකයා සහ තොටියා වෙයි. මෙහි පරමාර්ථය පත්තිනි උපත කවියේ ඉදිරිපත් කිරීමේදී අභිරූපනයෙන් ඇතැම් සිදුවීම් දැක්වීමෙන් සහෘදයා කෙරෙහි වඩාත් තියුණු බැදීමක් යොමු කිරීමයි.

දොලහ පෙලපාලිය

සාලිය යනු පෙලපාලියකි. මේවා දොලසක් ඇත. මේ තුලින් කරනු ලබන්නේ දෙලහ දෙවියන්ගේ නාමයට වස්තු දොලහක් ඔප්පු කිරීමයි. මෙය මුල්කරගෙන පාලි දොලහක් පැවැත්වීම මින් අදහස් කරයි.

දුම්මල, කහදිය කොතලය, මොට්ටැක්කිලිය, කුඩය, කොඩිය, සේසත, ඇතා, මීමා, දවුල, තම්මැටිටම, කොම්බුව, නලාව යන වස්තු දොලහ ශුභ මංගල වස්තු ලෙස හදුන්වයි. කපු මහතා දොලහ දෙවියන්ට කවි ගායනා කර දොලහ පෙලපාලිය ආරම්භ කරනු ලැබේ. මේ සදහා අනෙකුත් ඇදුරන්ගේ සහය නොඅඩුව ලැබේ.

මෙහිදී රග බිමක පසෙක පෙට්ටියේ ඇති පූජා භාන්ඩ හදුන්වා දීමේ සංවාදයක් උපයෝගී කර ගනී. මෙහිදී වෙනත් ශාන්තිකර්ම වල මෙන් සංවාද වලදී වචන උපහාස ස්වරූපයට පෙරලීම දක්නට ඇත. එසේම මෙම දෙළහ පෙලපාලියේ ඇතෙකු බැද දෙවියන්ට පූජා කිරීමත් මීමෙකු බැද දෙවියන්ට පූජා කිරීමත් විශේෂ ස්වරූපයක් දරයි.

නැකත් බලන් දොලසක් දෙවියන් නමට
කොතෙක් පාලි කෙරුවත් නැත සිත සතුට
මෙතෙක් කර දොළස දෙවියන් රැකීමට
ඇතෙක් සොයාලා බැද දෙමි පඩුරකට
   
බලා පුත්තලම් මඩකලපුව හිමයේ
බලා ඇවිද වැදි හත් කට්ටුව හිමයේ
මුලා නොවී තුන් සිටිනා කල හිමයේ
එදා බැද දුන්න දෙවිදුට ඇතායේ

පන්දම් දීම සහ ගිනි පෑගීම

පත්තිනි දේවියගේ දොලොස්වරක් ඉපදීම වෙනුවෙන් පන්දම් 12ක් පූජා කිරීම මෙහිදී සිදුවෙයි. එය පත්තිනි වෙනුවෙන් සහ දෙවොල් දෙවියන් වෙනු‍වෙන් සකස් කර තොරනේ පන්දම් ගැසීමෙන් මෙම භාරය ඔප්පු කරයි. කපු මහතා ආවේශ වී එම පන්දම් කපු මහතා විසින් නිවා දමයි. ඒ අතර ආතුරයින්ට පේන දැකීමට ඉඩ සලස්වනු ලබයි. මෙහිදී පේන කිරීමට පෙර ගිනි පෑගීම කල යුතු අතර මෙය දෙවියන් දෙදෙනෙකු සදහා කරන කාර්යයක් වෙයි. පත්තිනි සහ දෙවොල් දෙවියන් සදහා එකවර පූජා පවත්වන එකම අවස්ථාව මෙය වෙයි. මෙහිදී පත්තිනි දෙවියන් වෙනුවෙන් පන්දම් දෙලහ දීමද දෙවොල් දෙවියන් වෙනුවෙන් ගිනි පෑගිමද සිදුකරයි.

කිරි ඉතිරිවීම

සැලි එකක් හෝ තුනක් ගෙන පොල් කිරි හෝ එළ කිරි කහද දමා ලිපතබා කිරි උතුරවා යහන්වලට ඉස ආතුරයින්ගේ හිසේද ගාති.

ගේ ගිනි නිවීම

කහදිය කොතලයට කහ දියර ගෙන පත්තිනි දෙවියන්ගේ කවි ගායනා කරමින් ආතුරයින් සෙත් ශාන්ති කිරීම ‍මෙහිදී සිදු කරයි. අවසානයේ පැන් කලය ගෙයි දොරකඩ ගසා බිද දැමීමෙන් සියළු දෝෂ නිවාරණ බව පෙන්නුම් කරයි.

අයියේ නුඹ මට කී බස් හන්දා
පඩිය මගේ හිමි මැරෙව්වෙ මන්දා
දෙවියනි මට ඇවිලුනු ගිනි කන්දා
ගලවම් නර ලොව නුඹ කී සන්දා

ගරා යකුම

දෙවොල් මඩුවේ අවසන් භාගයේදී පවත්වනු ලබන යාගංගය ගරා වෙස් පෑමයි. මෙයින් අපේක්ෂා කරනුයේ සකල විධ වස් දෝෂාන්ධකාරය දුරලීමයි. ආතුර පිරිසකට පැමිණ ඇති ඇස්වහ, කටවහ හෝවහ දෝෂ දුරු කිරීමට ගරාවෙස් පෑම සිදු කරයි.

රංග භූමිය තුල ගොරොක් අතු දෙකක් සිටුවා බුරුල්ල අතුවලින් ආවරණය කොට ගරා අයිලයක් සාදා ඇත.

ගරා යකාගේ උපත හා ස්වරූපය කියමින් කපු මහතාට කපු මහතා ගරා යකාට ආරාධනා කරයි. ගරා වෙස් මුහුණ පැලද උඩු කයට හා යටි කයට නියමිත ඇදුම් කට්ටලය ඇදගත් ඇදුරෙක් ගරා වෙස් ගෙන අයිලයට නගී. එහිදී කීල පා එම අයිලයේ ගොරොක් අතු තබාගෙන බිමට පනී. ඉන්පසු පැය භාගයක් හෝ ඊට වැඩි කාලයක් ගරා වෙස් පෑම සිදුකරයි. පසුව ගුරුන්නාන්සේ හා ගරා යකු අතර සංවාදයක් ඇරඹෙයි. ගරායකුගෙන් තම විස්තර විමසන ගුරුන්නාන්සේට දෙන පිළිතුරු හාස්‍යරසයෙන් යුත් පදවලින් යුක්තය. ගරා යකුට කැපකර දෙන පූජා වට්ටියේ ඇති කැවුම්, කෙසෙල් කරගල ආදී දේ අතටගෙන සංවාදය තවත් ඉදිරියට ගෙනයයි. අවසානයේ දොස් දුරුකර වෙස්පා ආවඩා ගරායකු නික්මෙයි.

දෙවියන්ට පිං දීම

මඩු ශාන්තිකර්මයට වඩම්වන ලද දෙවිවරු මඩු ශාන්ති කර්මය අවසානයේදී නැවත විමන් වලට වඩම්මන්න ආරාධනාකිරීමයි. මෙහිදී දෙවියන්ට පිං දීම සිදු කරනු ලැබේ.

පිං බෙර වාදනය

දෙවියන්ට පිං දීමෙන් පසු මගුල් බෙර වාදනය සිදු කරනු ලබයි.

තොරන් කැපීම

දෙවොල් මඩු ශාන්තිකර්මය අවසන් බව නිරූපනය කිරීමට කවි ගායනා කරමින් සෑදූ තොරන් කොටසක් කපා දමයි. මෙයින් සියළුම යාග හෝම නිම බව කරන්නා වූ සංකේතාත්මක ක්‍රියාවක් වෙයි.

වක් බක් ගැබුරැති ගංගා දෙවියන්ට
එක් එක් වෙලා එන්නේ කවි අසන්නට
දුක් දුක් නිවී මතු සසරේ ගොඩවන්ට
එක් එක් මලට වැද පිං දෙමි දෙවියන්ට

දෙ‍වොල් මඩු ශාන්තිකර්ම සිදුකරන රංග භූමි

ප්‍රධාන වශයෙන් භූමි වර්ග 4ක් දක්නට ඇත. මේවා එකිනෙක වෙනස් වන අතර එක් එක් දෙවොල් මඩු ශාන්ති කර්ම වලදී මෙම රංග භූමි වර්ග හතරෙන් එක් එක් භූමි භාවිතා කරයි.

දෙවොල් මඩුවක් කොටස් 3න් යුක්ත වන අතර ඒවා,

  • පාත්තිනි භාගය
  • වාහල භාගය
  • දෙවොල් භාගය

ලෙස කොටස් 3කට වෙන් වෙයි. පත්තිනි භාගෙට ගෙල්මේ නැටීම අයත්වන අතර වාහල නැටීම වාහල භාගෙට අයත්වෙයි.

දෙවොල් මඩු ශාන්ති කර්මයේදී සියළු ක්‍රියාකාරකම් ප්‍රධාන කපු මහතා ප්‍රධානව සිදු කෙරෙන අතර එම අවස්ථාවේදී පත්තිනි හාමි, පත්තිනි මහත්තයා වැනි විශේෂ නම් වලින් කපු මහතා හදුන්වයි. ප්‍රධාන කපු මහතාගේ අවතේව කරු කොට්ටෝරුවා, මඩු පුරයා ලෙස හදුන් වන අතර ඔහු මඩු ශාන්තිකර්මය සදහා අවශ්‍යවන බඩු භාහිරාදිය තබා ගැනීමට සහ සාදා ගැනීමට මඩුවක් පාවිච්චි කරයි.

එම මඩුව කොට්ටෝරු මඩුව ලෙස හදුන්වයි. ..................




සංස්කෘතික කලා නිර්මාණ සංසඳය

මෙත් නිවස, මාබෝදල,
වේයන්ගොඩ,
ශ්‍රී ලංකාව

විද්යුත් තැපැල : info@shanthikarma.org
දුරකථන :+94- 0773 73 27 95 මෙත්තානන්ද මහතා

095192
යාවත්කාලීනය: 04-02-2014