අළුත් සහල් මංගල්ල්‍ය

හැදින්වීම

වැව, වෙල, ගම, කන්ද, ලන්ද, තමන්ගේ පැවැත්මේ කේන්ද්‍රස්ථානය කර ගත් නුවර ක‍ලාවියේ ගොවි ජනතාව තමාට වූ පිහිට වෙනුවෙන් කෘතගුණ සැලීකමක් වශයෙන් විවිධ පුද පූජා ආගම ධර්මය මුල්කරගෙනම පැවැත්වීමට හුරු පුරුදු වූහ. එමෙන්ම බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි අසීමිත භක්ත්‍යාදරය පදනම් කරගත් ඇතැම් දාන මංගල්‍යයද තමාට, ගමට, රටට සුඛ විහරණයන් ළගා කර ගැන්මේ ශාන්ති කර්මයක් ලෙසට සැලකූහ.

නුවර කලාවියේ වෙහෙර විහාර මංගල්‍ය තුල දාන මංගල්‍ය තුනක් සිදුකෙරේ. අග්ගස්ස දාන මංගල්‍යය, අළුත් සහල් දාන මංගල්‍යය, ලහබත් දාන මංගල්‍යය නමිනි. කොහොඹා යක් කංකාරියේ පූජා රටාව සහ එහි අනුපිළිවෙල දෙස බලන කල "අගහස් වෙන් කිරීම" යනුවෙන් හදුන්වන්නේ ගොවි තැනෙන් ලද අස්වැන්නේ ප්‍රථම කොටස දෙවියන් උදෙසා මංගල්‍යයක් පවත්වනු පිණිස වෙන් කරනු ලැබීමයි. මෙසේ වෙන් කරගත් ශස්‍ය කොටස් නිවසේ උස් තැනක සුරක්ෂිතව තබනු ලැබේ. මෙසේ අග්‍ර ශස්‍ය හෙවත් ප්‍රථම අස්වැන්න දෙවියන් සදහා වෙන් කිරීම "අක්යාල වෙන් කිරීම" යනුවෙන් උඩරට ප්‍රදේශ වල හැදින්වේ. එය පහත රට ප්‍රදේශ වල හැදින්වෙන්නේ දෙවියන්ගේ වී හෝ දෙවියන්ගේ අස්වැන්න යන නමින්ය. යන බව මුදියන්ගේ දිසානායක මහතාගේ සිංහල නර්තන කලාව නම් පොතෙහි සදහන්ව ඇත.

ගොයම් කිරිවැදීගෙන එන අවදියේ කපා ගන්නා කිරි කරල් තලා මිරිකා පිසින ලද අති භක්තිපූර්වක කිරි අහර බුද්ධ පූජාව නුවර කලාවියේ හදුන්වන්නේ අගස්දාන මංගලයය වශයෙනි. ඉහතින් දැක්වූ පරිදි වෙනත් ප්‍රදේශ වාසීහු උක්ත දානය විවිධ ආකාරයෙන් නම් කෙරෙති. ඊට ඇතැම් ප්‍රදේශයක ගොවීන් වහරන්නේ අලුසල් සංගල්‍ය නැතහොත් අලුස්සල් මංගල්‍ය කියාය. රාජ වන්නියේ දී අළුත් සහල් මංගල්‍ය ලෙස හදුන්වන බව මුදයන්සේ දිසානායක මහතා පවසයි.

රටේ ධන, ධන්‍ය, ආදී සම්පත් බුද්ධ බෝග සේ සලකා ප්‍රථම භාගය රත්නත්‍රය සිහිකර පුද කිරීමේ පුරුද්දක් ආගමික චින්තනයට එකතු වූයේ බුදු සමය ලක්දිව ප්‍රත්ෂ්ඨාපනය වූ මුල් කාලයේ සිටය.

අස්වනු නෙලාගත් විට බුදුන් වහන්සේට පුදන ලද බිමෙන් ලද බුද්ධ භෝගය ලෙස එම අස්වැන්න සලකා එය සංකේතවත් කිරීමට ප්‍රථම භාගය පිදීම අළුත් සහල් මංගල්‍ය වැනි චාරිත්‍ර විධීන්ගෙන් පිළිබිඹු වේ. උතුරු මැද පලාතේ මෙම චාරිත්‍රය අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුල් කරගෙන ඉටු කරනු ලැබේ. සෙසු පලාත් වල සම සතලිස් බෝධීන්ගෙන් එකක් මුල් කරගෙන පිදුම් කිරීම හෝ යටත් පිරිසයින් ගමේ පන්සලේ බෝධිය හෝ විහාර මුල් කරගෙන සිදු කිරීම හෝ අතීතයේ සිට පැවැත එන සිරිතකි.

නව අස්වැන්නෙන් කෙරෙන මෙම දාන මංගල්‍ය රජ දවසේ සිටම පැවත එන චිරාගත සම්ප්‍රදායන් මූර්තිමත් කරමින් සිදු කිරීමට නුවර කලාවියේ අපේ ගොවි ඇත්තෝ අදද සැදී පැහැදී සිටිති. මහ කන්නියේ වගා කල කුඹුරු වල ගොයම් පැසෙනුයේ දුරුත්තේ අගදීය. ඒවා කලා ගන්නේ නවම් මහේදීය. තම කුඹුරෙන් කපා ගන්නා ගොයම් මහප්පිඩි දෙක තුනක් කුඹුරේම තනා ගන්නා මැස්සක් මත තැන්පත් කරයි. නවම් මස හා මැදින් මස අතර යෙදෙන පුර පසලොස්වක පෝ දාක හෝ ඊට ආසන්න දිනක එම උප්පිඩි වල වී සහල් කර අළුත් සහල් මංගල්‍යයට සූදානම් කරති. තවත් සමහර පලාත් වල මෙම වී ප්‍රමාණ ලබාගන්නේ ගොයම් කමතට ඇද (ගොයම් කෙළය ගැසීමට) එහි දී මාගල් මත වැටෙන බැත වලින්ය.

මෑතක සිට අළුත් සහල් මංගල්‍ය ජය ශ්‍රී මහ බෝ සමිදු අභියස සිදු කරන්නේ බක් මාසයේ පළමු සතිය තුලදීය. මේ අනුව මැදින් මස අත භාගයේ දී  මෙම මංගල්‍යයට සූදානම් වීම් වස් මහ බෝ සමිදු අභියස වැලි මළුවේ පිරිත් මණ්ඩපයක් තැනීමත් ඊට ඇවැසි සියළුම කාර්යයන් සපුරාලීමත් සිදුකරන අතර අළුත් සහල් බහාලන සුවිසල් පාත්‍රය සදුන් කිරි පැනියෙන් නහවා සැරසිලි වලින් අලංකාර කර බෝ හිමි සමීපයේ උඩු වියන් යට පා වියන මත වඩා හිදුවයි. එසේ කරනුයේ ඊට සම්ප්‍රදායානු කූල වත් පිළිවෙත් නොමදව කරමින් අටමස්ථානාධිපතීන් වහන්සේ ගේ අනුශාසනා මත මහා සංඝරත්නයේ කීප නමක් විසින් ය. ඒ අවස්ථාවේ සුවිශේෂ ශබ්ද පූජාවක් හෝරාවක් පමණ පැවැත්වීම එදා මෙදා තුර චාරිත්‍ර ධර්මයකි.

අළුත් සහල් මංගල්ල්‍ය

"උඩරට බුදු මගුලේ" යන අළුත් සහල් මංගල්‍යයේ පාත්‍රා දෙකක් යොදාගන්නා බවත් ඉන් එකක් බුදුන්ගේ පාත්‍රය වන අතර අනෙක දෙවියන්ගේ පාත්‍රය ලෙසද නම් වන බවත්, පළමු පාත්‍රය පස්පෑල පල්ලහ කද දෙවැනි පාත්‍රය හත්පෑල පල්ලහ කද සහල් ප්‍රමාණයක් අඩංගු කල හැකි බවත් "උඩරට සිංහලය" කෘතියේ දැක්වේ.

එසේ වුවද නුවර කාලාවියේ සහල් බහාලීම සදහා යොදා ගැනෙනුයේ එක පාත්‍රධාතුවක් පමණි. ඒ අනුව අළුත් සහල් මංගල්‍ය පැවැත්වෙන නැකැත් දිනට පෙර දිනයේ මහ බෝ සමිදු සමීපසත වැලි මළුවේ සාදා ඇති විසිතුරු පිරිත් මණ්ඩපයේ සිට මහා සංගරත්නය සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්‍මදේශණයක් කරති. එය ඇරඹි මොහොතේ සිට රාත්‍රිය මුළුල්ලේම අත්‍යාලංකාර හේවිසි පූජාවක්ද පැවැත්වේ.

පසු දින අළුයමෙහි යෙදෙන ඉතාම බලගතු නැකතකට අනුව සතර වාහල්කඩ කිරි ඉතිරීම කරනුයේ සදුන් අගිල් මිශ්‍රිත සුවද දර වර්ග සහිත ලිප් සතර තුලය. ඊට යොදා ගන්නා පූජා හැලිද අලංකාර කර තිබීමත් නියමිත ශුභ මූර්ථයට මංගල භේරි පූජා මධ්‍යයේ සුදු පිරැවට හැදගත් පිරිසක් විසින් පූජා හැලි ලිප තැබීමත් කරනු ලැබේ.

පිළියෙල කරගත් කිරි අහර ජය ශ්‍රී මහ බෝ සමිදුට ඉතා ගෞරවාන්විතව පූජා කිරීමෙන් අනතුරුවය අළුත් සහල් මංගල පෙරහැර ආරම්භ වන්නේ.

අති රමණීය මහා පෙරහැරකින් යුත් මෙම අළුත් සහල් පෙරහැර තුල සුවිශේසීයව අළුත් සහල් බදුන් හිස තබාගත් ගොවි සැදැහැවතුන් දහස් ගණනක් ගමන් ගන්නේ උඩු වියන් යටින්ය. මේ අවස්ථාවේ දී පන්තේරු තර්තන කණ්ඩායමක් විසින් ශුද්ධෝධන රජ තුමාගේ වප් මගුල් උළෙල ගැන කියැවෙන වන්නම් ගායනයක් කරමින් නැටුම් රග දක්වනු ලැබේ. එසේ වැඩම වන, අළුත් සහල් බෝ මළුවේ මහා පාත්‍රධාතුවට බහා ලීම ගොවීන් විසින්ම සිදු කරනු ලැබේ.

එය පුරාණයේ සිදුකර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු ඒ ඒ පුදේශ භාර ප්‍රධානීන් බව ජෝන්ඩේව් පවසයි. මෙම අළුත් සහල් මංගල්‍ය නිමවන්නේ මහා සංඝයා විෂයෙහි පිරිනැමෙන සාංඝික මහා දානයකින් අනතුරුවයි. "සිංහල නර්ථන කලාව" කෘතියේ මුදියන්සේ දිසානායක මහතා පෙන්වන පරිදි නරේනුසිංහ රජතුමා ගුරුදෙනියේ කෙත අස්වද්දා අළුත් සහල් වලින් අළුත් සහල් මංගල්‍ය නමින් උත්සවයක් කල බව කියති. දළදා මාලිගාවේ සහ දේවාල වල මුලාදෑනීහු අළුත් සහල් මංගල්‍යයට පෙරදින ගුරු දෙනියේ වෙල්යායට ගොස් අලි ඇතුන් සහිත විශාල පෙරහැරකින් එහි සකස් කොට ඇති වී ගෝනි වලට දමාගෙන මහනුවර නාථ දේවාලයට පැමිණේ. එහිදී කියවන නම් ලැයිස්තුවකට අනුව සහල් හා වී බෙදනු ලැබේ. එහිදී කියවන නම් ලැයිස්තුවකට අනුව සහල් හා වී බෙදනු ලැබේ. දළදා මාලිගයේ කිරිබඩ පූජාව සදහාත් තේවාකාරක භික්ෂූන් සදහාත් අස්ගිරි මල්වතු විහාර වලටත් සතර දේවාලයටත් මහ නුවර ඇති පුරාණ විහා ර කිහිපයකටත් සහල් හා වී බෙදනු ලැබේ. අළුත් සහල් මංගල්‍ය පවත්වන්නේ රජු විසින් ලංකාවේ සියළු සිද්ධස්ථාන වලට කරන ලද පරිත්‍යාග සිහිපත් කිරීමක් වශයෙනි. වෙනත් විදියකින් කියතහොත් අළුත් සහල් මංගල්‍ය රජු වාසලින් සංවිහිත දායදයක ස්වරෑපයක් ගන්නෙකි.

තවද නුවර කලාවියේ මහ බෝ සමිදු අභියස කෙරෙන අළුත් සහල් මංගල්‍යයට අනුරෑපීව ඉතාම සරල ආකාරයෙන් එහෙත් මහත් භක්තියෙන් ගැමීහුද තම වෙහෙරෙහි බෝධිය හමුවේ අළුත් සහල් මංගල්‍ය සිදු කළහ. එහිදී ඔවුන් දෙවියන් උදෙසාද කිරිබත් ගොටු සතරක් බෝධිඝරයට සතර දිගින් පිදීම සිදු කෙරිනි.

අයියනායක, පුල්ලෙයාරේ, මංගර, විෂ්ණු, පත්තිනි, කතරගම, මින්නේරි, යන දෙවිවරැ නුවර කලාවියේ වැව, වෙල, ගම, කන්ද, ලන්ද, ආරක්ෂා කරන දෙවි දේවතාවුන් වශයෙන් පුද සත්කාර ලබති. මෙම අළුත් සහල් මංගල්‍ය වූ කලී වගාකටයුතු සශ්‍රීකත්වය ශ්‍රී සමාධිය හා ආරක්ෂාව පතා චිරාගත සම්ප්‍රදායානුකූලව කරන ලද අති ගෞරවනීය යාතු කර්මයක් ලෙස හැදින්විය හැකිය.




සංස්කෘතික කලා නිර්මාණ සංසඳය

මෙත් නිවස, මාබෝදල,
වේයන්ගොඩ,
ශ්‍රී ලංකාව

විද්යුත් තැපැල : info@shanthikarma.org
දුරකථන :+94- 0773 73 27 95 මෙත්තානන්ද මහතා

095193
යාවත්කාලීනය: 04-02-2014